June 23, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

පෝට් සිටි අධිකරණ තීන්දුව පිටින් බලද්දී සතුටු හිතුණාට ඇතුළේ බරපතළ ප්‍රශ්න තියෙනවා



කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව මතුපිටින් බැලීමේදී සතුටුදායක වුවත් එහි අභ්‍යන්තරයෙහි ඉතාම බරපතළ ප්‍රශ්න පවතින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි. 

“මේ අධිකරණ තීන්දුව, මේක මතුපිටින් දැක්කට පස්සෙ අපට සතුටු හිතුණාට මේ තීන්දුවෙ ඉතාම බරපතළ ප්‍රශ්නයක් තිබෙනවා. ඒ ප්‍රශ්නෙ තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවට තීන්දු කරලා තියෙන වගන්ති, ඒ තීන්දුව දීලා තියෙන්නෙ මේවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණියි කියලා ඉදිරිපත් කරපු ලිඛිත තර්ක, විවේචන, අධිකරණයේ සාකච්ඡා වූ දේවල්වලට පටහැණි විදියට. යෝජනාවක් කරලා තියෙනවා, ඒ බලය අධිකරණයට කොහොමත් තියෙනවා, මෙන්න මේ අහවල් වචනය වෙනුවට මෙන්න මේ වචනය දාන්න කියලා. ඒ වචනය දැම්මා කියලා මෙතන දේශපාලන වෙනසක් වෙන්නෙ නෑ. 

දැන් අපි උදාහරණයක් විදියට ගත්තොත් 3.4 වගන්තිය. ඒකෙ අධිකරණ නියෝගය තියෙන්නෙ ෆෝ කියන වචනය වෙනුවට ටූ ෆැසිලිටේට් කියලා දාන්නය කියලා. මේක විසින් ආර්ථිකයට මොනවගේ ප්‍රශ්නයක් වෙනවද කියන එක, මේක විසින් කොළඹ වරාය නගරය කළුසල්ලි ජාවාරම්කරුවන්ගෙ තිප්පොලක් බවට පත්වෙලා ආසියාවෙම තියෙන කළුසල්ලි මේකට ඇවිල්ලා මේක ඇතුළෙ දැවැන්ත ජාවාරම් වෙන්න තියෙන ඉඩකඩ, ලංකාවෙ බදු නොගෙනවා මහජන මුදල් මංකොල්ල කාලා නීතිවිරෝධී ලෙස රැස්කරගෙන ඉන්න මුදල් මුදල් විශුද්ධිකරණ තැනක් විදියට හොරුන්ට ගිහිල්ලා සල්ලි සුද්ද කරගන්න තියෙන තැනක් විදියට මේක පාවිච්චි කරගන්න පුළුවන් වෙන ප්‍රශ්නය අපි කිව්වා, ඒක අධිකරණයේදී සාකච්ඡා වෙන්නෙ නෑ. 

ප්‍රශ්නෙ තියෙන්නෙ ඒක ව්‍යවස්ථාවට එකඟද නැද්ද කියන එකේදිත් ඉතාම බරපතළ ප්‍රශ්නයක් තියෙනවා මේ ඇවිල්ලා තියෙන තීන්දුවෙ මේකෙ ඕනෙ තරම් හිල් තියෙනවා රිංගලා යන්න පුළුවන් විදියට. වචනයක් දෙකක් වෙනස් කරලා, ජනමත විචාරණ තියන්නෙත් නැතුව පාර්ලිමේන්තුවෙ විශේෂ බහුතරෙත් නැතුව මේවා සම්මත කරගන්න පුළුවන් විදියට තමයි තියෙන්නෙ. මේක දැන් ටිංකරින් කරන්න බෑ, මේ පනත අහෝසි කළයුතුයි, යොදාගෙන තිබෙන පාර්ලිමේන්තු විවාදය අවලංගු කළයුතුයි” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

පුබුදු ජයගොඩ මහතා මේ බව පැවසුවේ ඊයේ (18) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 

RN




Source link