June 16, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

නිව්මෝනියා තත්ත්වයට පත්වීම 7% දක්වා වැඩිවෙලා


කොරෝනා නිසා අද ලොවම දැඩි භීතියකට පත්වෙලා තියෙන්නෙ ඉන්දියාව දිහා බලල. අපේ රටෙත් මේ වෙද්දි ඉතා සීග්‍රයෙන් කොරෝනා රෝගය පැතිර යමින් තියෙනව. ඉන්දියානු මුහුණදෙනව වගේ අවසනාවන්ත තත්ත්වයකට අපටත් මුහුණදෙන්න සිදුවෙයිද?

පළමු හා දෙවන කොවිඩ් රැල්ල තුළ අපේ රටේ මිනිසුන් යම් හිරවීමකට දැඩි පීඩාවකට ලක්වුණා. හැබැයි අපි ක්‍රමයෙන් කොවිඩ් රෝගය කිසියම් පාලනයකට නතු කර ගත්තා. ඒත් ඒ ඒ නිසා පසුගිය අප්‍රේල් මාසයේ අවුරුදු නිවාඩු ලැබුණාත් එක්කම මිනිසුන් තුළ ආත්ම විශ්වාසයක් ගොඩ නැගුණා. මිනිස්සු තුළ තිබුණු පීඩනය, මේ අවුරුද්ද තුළ මුදා හැරියා. ඔවුන් තමන්ගේ නිදහස උපරිමයෙන්ම භුක්ති වින්දා. සෞඛ්‍ය අංශ පවා ඇතැම් විට හිතුවේ රෝගය මනා ලෙස පාලනය වෙලා තියෙනවා කියලා.

ඒ නිසා ඔවුන් ජනතාවට දැඩි නීතිරීති පනවන්නේ නැතිව සෞඛ්‍ය නීතිවලට අනුගතව කටයුතු කරන්න කියලා දැනුවත් කිරීම් පමණක් කළා. කොහොම නමුත් ලංකාවේ තැන් තැන්වල ඉතිරිවෙලා තිබුණු අනු පොකුරු සහ ඉන්දියාවත් එක්ක අපේ තිබුණ කිට්ටු සම්බන්ධතාව එක්ක නැවතත් රෝගය මතුවුණා. නමුත් දැන් අපි රෝගය පාලනය කිරීම සඳහා ඇතිකර තිබෙන වැඩපිළිවෙළත් එක්ක වසංගත තත්ත්වය දැඩි ලෙස උග්‍රවෙයි කියලා හිතන්න අමාරුයි.

ඔබ සඳහන් කළා මිනිසුන් තුළ රෝගය කෙරෙහි ආත්ම විශ්වාසයක් ගොඩ නැගුණා කියලා. ආත්ම විශ්වාසයක් ගොඩනැගෙන්න හේතුව වුණේ කුමක්ද?

අපි කොවිඩ් මර්දනය සඳහා ජනවාරි මාසයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන්ට, යුද හමුදා සහ පොලිසියේ නිලධාරීන්, මහජනතාවගෙන් කොටසකට කොවිෂීල්ඩ් එන්නත ලබා දුන්නා. ඒ වගේමයි මාර්තු අවසානයේදී හා අප්‍රේල් මාසයේ මුල් සතියේදී රට පුරා අහඹු ලෙස රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකළා. එහිදී අපි දැක්කා රෝගීන් වාර්තා වුණා නම් එය ඉතා සුළු සංඛ්‍යාවක් විතරයි. මේ හේතු කාරණා නිසා මිනිසුන්ගේ ආත්ම විශ්වාස ගොඩනැගුණා කීවොත් එය නිවැරදියි.

වර්තමානයේ ඇතිවී තියෙන තත්ත්වය පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය මීට පෙර අනතුරු ඇඟවීම් කළා. සංචරණ සීමා පනවන්න, දැඩි නීතිරීති ගේන්න ඔවුන් ඉල්ලීම් කළා. නමුත් ඒ පිළිබඳ සෞඛ්‍ය අංශ අවධානය යොමු නොකළ බවට ඔවුන් චෝදනා නගනව….

මෙවැනි වසංගත රෝගයකදී සාමාන්‍යයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයන් තීන්දු තීරණ ගන්නේ වසංගත රෝග අංශයේ, සෞඛ්‍ය අධ්‍යාපන අංශයේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ පර්‌යේෂණ අංශයෙන්, දත්ත හා පර්‌යේෂණ ආයතන මගින් ලබා ගන්නා තොරතුරු අනුවයි. නීතියක් හැටියට ක්‍රියාත්මක නොකළත් අපි විවිධ ආයතනයන්ට සෞඛ්‍ය උපදෙස් මාලාවක් පොදුවෙත්, පෞද්ගලිකවත් දැන්වූවා.

අපි ඇඳිරිනීතිය දැම්මා නම් මිනිස්සු ඇඳිරි නීතිය කඩන්න පටන් අරගන්නත් බැරිකමක් නැහැ.කොහොමත් මේ රෝගය මුළු ලෝකයටම තවමත් අලුත්. ඒ නිසා රෝග මර්දනය සඳහා ගන්නා තීන්දු තීරණයන් වෙනස් වෙන්න පුළුවන්.

කොවිඩ් පළමු රැල්ලේදී අපි පැනවූ ඇඳිරි නීතිය දැන් දැන් අපි පනවන්නේ නැහැ. රෝගය බෝවන හැටි ජනතාව දන්නවා. ඉන් ආරක්ෂා වෙන පිළිවෙළ කියා දී තිබෙනවා. ඒ උපදෙස්වලට අනුගතව කටයුතු කිරීම ජනතාවගේ වගකීමක්.

ලෝක සෞඛ්‍ය සංවිධානය මුලින් කිව්වා මුව ආවරණයන් හෝ පැලඳීම අනවශ්‍ය බව. ඒත් දැන් ඒ තීරණය මුළුමනින්ම වෙනස් වෙලා. ඒ නිසා ඔවුන් එදා ගත්තු තීරණය වැරදි නිසා දැන් නිවැරදි තීරණයට අනුගත වෙලා තියෙනවා. අපේ රට තුළත් ඒ වගේ තමයි. ඇතැම් පාර්ශ්ව කියන තීන්දු තීරණයන් සෞඛ්‍ය අමාත්‍යාංශය අනුමත නොකළත් පසුව එහි වරදක් තිබෙන බවට වැටහෙනවා.

කොවිඩ් පළමු සහ දෙවැනි රැල්ලට වඩා මෙවර රෝගීන්ට දැඩි සත්කාර ප්‍රතිකාර අවශ්‍ය වෙන්නේ ඔවුන් මුලදී රෝගය හඳුනා නොගැනීම නිසාද?

මේ වන විට පැතිරෙන වයිරසයේ වෙනස්කම් දෙකක් දකිනවා. එකක් තමයි වයිරස ප්‍රභේදයේ ඇති වී තිබෙන වෙනස, අනික තමයි රෝගීන් මුල් අවස්ථාවේ රෝග ලක්ෂණ නොපෙන්වා නියුමෝනියා තත්ත්වත් එක්ක උත්සන්න වෙනවා.

දැන් තියෙන ගැටලුව තමයි රෝගීන් බහුතරයක් රෝහලට පැමිණෙන්නේ රෝගය උත්සන්න වීමත් සමග. එහෙම වුණාම ඒ රෝගියා දැඩි සත්කාර ඒකකයක හෝ අධිසත්කාර ඒකකයක ප්‍රතිකාර අවශ්‍ය වෙනවා. මෙහිදී රෝගීන් සංඛ්‍යාව පාලනය කර ගැනීම සහ රෝගය උත්සන්න වීම වළක්වා ගැනීමට නම් ඔවුන්ව රෝහලක් වෙත ගෙන්වා ප්‍රතිකාර ලබාදීම අවශ්‍ය වෙනවා.

රෝගීන්ව රෝග ලක්ෂණ උත්සන්න වීමට පෙර රෝහල් වෙත ගෙන්වා ප්‍රතිකාර ලබා දීමෙන් රෝගය පාලනය කළ හැකිද?

රෝගය යම්තාක් දුරකට පාලනය වෙනවා පමණයි. නමුත් මෙය සම්පූර්ණ වශයෙන් පාලනය වෙන්නේ අපේ එන්නත්කරණ වැඩපිළිවෙළ අවසන් කළාට පසුවයි. අපි මේ වන විට එන්නතේ පළමු මාත්‍රාව තෝරාගත් කණ්ඩායම්වලට ලබාදී තිබෙනවා. දැන් දෙවැනි මාත්‍රාවත් ලබා දෙමින් පවතිනවා.

ඔබ සඳහන් කළා රෝග ලක්ෂණ පහළ වීමට පෙර රෝහලක් වෙත පැමිණියොත් රෝගය උත්සන්න වීම වළක්වා රෝගියාගේ ජීවිතය බේරා ගන්න පුළුවන් කියලා. නමුත් මේ වන විට පැතිර වන කොවිඩ් නව ප්‍රභේදයේ රෝග ලක්ෂණ මතුවන්නේ විශේෂයෙන්ම නියුමෝනියා තත්ත්වය ඇති වන්නේ රෝගය උත්සන් වූවාට පසුව බවයි විශේෂඥ වෛද්‍ය මතය…

නියුමෝනියා තත්ත්වය ඇතිවෙනවා කියන්නේ රෝගය වැලඳුණ සියයට 90කට නියුමෝනියා තත්ත්වය එනවා නෙවෙයි. නමුත් මුලදී වාර්තා වුණ රෝගීන්ට වඩා වැඩි ප්‍රමාණයක් දක්නට ලැබෙනවා. උණ, උගුරේ වේදනා, තද කැස්ස වැනි රෝග ලක්ෂණ පැවති අයගෙන් නියුමෝනියාව දක්වා රෝගය උත්සන්න වූයේ සියයට 1 ප්‍රමාණයකට නමුත් දැන් එය සියයට 7–8 දක්වා වැඩිවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා.

සාමාන්‍ය පුද්ගලයකුගේ ශරීරයේ ඔක්සිජන් ප්‍රතිශතය සියයට 98ක් තිබිය යුතුයි. සමහර රෝගීන් හදිසි ප්‍රතිකාර ඒකකවලට පැමිණෙන්නේ වෙනත් රෝගයක් සඳහා ප්‍රතිකාර ලබා ගන්න. නමුත් ඔක්සිජන් ප්‍රතිශතය බැලුවාම 85ට විතර අඩුවෙලා.

ශරීරයේ ඔක්සිජන් අඩුවෙලා කියල පුද්ගලයකු දැන ගන්නේ කොහොමද?

  • ඔබ රැකියාවට ගිහිල්ලා ගෙදර ඇවිත් පඩිපෙළ නැගලා උඩු මහලට යනවිට වෙනදාට දැනෙන්නේ නැති අපහසුතාවක් දැනෙනවා නම්, ඒ කියන්නේ පපුවේ වෙනදාට නැති හතියක්, සුළු වේදනාවක් වගේ දෙයක් දැනෙන්නේ නම් ඒ පිළිබඳව අවධානය යොමු කරන්න.

  • වෙනදාට බස් එකෙන් බැහැලා නිවස‌ට යනවා නම් හෝ කාර්යාලයට යනවා නම් වෙනදාට නැති හතියක් එනවා නම්, හුස්ම ගන්න බැරි නම්, දහඩිය දමනවා නම් එය රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. කතා කරන විට වෙනදා වගේ නැතිව හුස්ම අල්ල අල්ලා කතා කරනවා නම් එයත් රෝග ලක්ෂණයක් විය හැකියි.

  • ඔබ රාජකාරි කරන ස්ථානය, එනම් ගාමන්ට් ෆැක්ටරියක සේවය කරන්නෙක් නම්, බැංකු කවුන්ටරයක වැඩ කරන අයෙක් නම්, ෆාමසියක වැඩ කරන අයෙක් නම්, හෝටල්වල සේවකයෙක් නම්, කොටින්ම බාහිර පුද්ගලයන් සමග සෘජුව ගැටීමක් හෝ විවෘත පරිසරයන්ගේ රැකියාවන්ගේ යෙදී සිටින අයකු නම් වෙනදාට නැති අපහසුවක් ඇඟට දැනෙනවා නම් හැකි පමණ විවේක ගන්න. එහෙම විවේක අරගන්නා අතරම වහාම රෝහලක් වෙත යා යුතු වෙනවා‍.

මෙහිදී කොවිඩ් වයිරසය නිසා ඔබට නියුමෝනියා තත්තවයන් වැලඳී ඇත්නම් එහිදී පෙණහැල්ලේ ඇතිවන ඉදිමීම වළක්වා ගන්න බෙහෙත් වර්ග තුනක් රෝගියාට ලබා දෙනවා‍. මෙහිදී දැඩි සත්කාර ඒකකයට යාම වළක්වා ගත හැකියි. පෙණහැල්ලේ ඉදිමීමට අමතරව රුධිර කැටියක් ඇතිවෙනවා. මේ රුධිර කැටිය නැති කරන්න ඖෂධ දෙනවා. පෙණහැල්ල ඉදිමීමට අමතරව බැක්ටීරියා ආසාදනය වීමක් වෙනවා. මෙයත් නියුමෝනියා වර්ධනයව වීමට හේතුවක් වෙනවා.

මේවාට ඖෂධ දෙන අතරම ඔක්සිජන් ලබාදීම විටින් විට කරන්න පුළුවන්. එහෙම වෙලාවක ඔක්සිජන් ලබාදීමෙන් ශරීරයේ අනෙකුත් ඉන්ද්‍රියන්ට සිදුවන හානිය අවම කරගන්න අවශ්‍යයයි. අක්මාව, වකුගඩු, හෘදය වැනි ඉන්ද්‍රියන් අකර්මණ්‍ය නොවී පවත්වාගෙන යාම සඳහා ඔක්සිජන් අවශ්‍යයයි. මේ නිසා තමයි අපි කියන්නේ රෝග ලක්ෂණ දැනුණ වහාම අනිවාර්‌යෙන්ම රෝහලකට යන්න කියලා.

මේ වන විට අපගේ රෝහල්වල ධාරිතාව ඉක්මවා යනවා නේද? එවන් පසුබිමක රෝගී සත්කාරය සෞඛ්‍ය අංශවලින් ගිලිහීයාමක් සිදුවේවිද?

මේ වන විට සෑම දිස්ත්‍රික්කයකටම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඇති කරලා තියෙනවා‍. කොවිඩ් රෝහල්වලට අමතරව සෑම රෝහලක විශේෂඥ වෛද්‍යවරුන් ඉන්නවා‍. ඒ වගේමයි සෑම හෙදියකටම පළමු එන්නත් මාත්‍රාව ලබාදී තිබෙනවා. දැන් දෙවැනි මාත්‍රාවත් ලබා දෙමින් සිටිනවා. ඔවුන්ට මේ රෝගය වැලඳීමේ අවදානම ඉතාමත් අඩුයි. ඒ නිසා ඔබේ රෝගයට ප්‍රතිකාර කිරීමේ හැකියාව දැන් තියෙනවා. ඔබට රෝග ලක්ෂණ පහළ වූ වහාම එය උත්සන්න වීමට ඉඩ නොදී ගොඩ වෙදකම් කර කර ඉන්නේ නැතිව වහාම රෝහලක් වෙත යන්න.

අසාධ්‍ය තත්ත්වයට පත්වෙන කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබා දීම සඳහා ප්‍රමාණවත් දැඩි සත්කාර ඒකක ඇඳන් නොමැති බවට පැතිර යන ප්‍රචාරය ඇත්තක්ද?

අපිට අවශ්‍ය තරම් දැඩි සත්කාර ඇඳන් තිබෙනවා. මීට අමතරව දැනට දැඩි සත්කාර ඒකක ඇඳන් 50ක් ඉක්මනින් ලබා දීමටත් ද්‍රව ඔක්සිජන් තබා ගැනීමට හැකි රෝහල් හඳුනාගෙන අර්ධ දැඩි සත්කාර ඒකක ඇඳන් 55 ස්ථාපිත කිරීමට තීරණය කළා. කොවිඩ් ප්‍රතිකාර නොවන ස්ථානයන්ගේ පවතින පීඩනය වැඩි කර ඔක්සිජන් සාන්ද්‍රණය ලබා දෙන යන්ත්‍ර කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යැවීමටත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කර තිබෙනවා.

අපි තවත් රෝහල් හඳුනා ගනිමින් සිටිනවා. කොහොම නමුත් රෝගය උත්සන්න වීමට පෙර රෝහල් වෙත රෝගීන් පැමිණෙනවා නම් ඒ අයව දැඩිසත්කාර ඒකකවලට ඇතුළත් නොකර වාට්ටු තුළදී ප්‍රතිකාර ලබාදී සුව කරගන්න හැකියාව තියෙනවා. රෝගීන් මුල් අවස්ථාවේදී රෝහලට ආවොත් දැඩි සත්කාර ඒකක ඕන නෑ.

කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව මේ වනවිට ලබාදීම ආරම්භ කර තියෙනව.ඉන්දියාවේ දැන් ඇතිවී තිබෙන තත්ත්වය හමුවේ අපිට එන්නත් ඇණවුම් කරන්න පුළුවන්කමක් නැහැ. කොවිෂීල්ඩ් එන්නතින් පළමු මාත්‍රාව ලබා දුන් අයට දෙවැනි මාත්‍රාවත් ලබා දිය තරම් ප්‍රමාණවත් එන්නත් තියෙනවද? එසේ නැත්නම් ඒ තත්ත්වයට මුහුණ දෙන්නේ කොහොමද?

එන්නත් ඉතිරි කොටස ලබා ගැනීමේ අපහසුතාවක් තිබෙන බව අපි දන්නවා. ඉන්දියානු මහ කොමසාරිස්වරයා කියලා තියනවා අපිට අවශ්‍ය එන්නත් ලබා දීමට කටයුතු කරනවා කියලා. මීට අමතරව ඇස්ට්‍රා සෙනිකා (කොවිෂීල්ඩ්) එන්නත භාවිත නොකරන රටවල් වන කැනඩාව, ඩෙන්මාර්කය, ඔස්ට්‍රේලියාව වැනි රටවල් තානාපතිවරුන්ට කියලා තියෙනවා මේ එන්නත් ප්‍රමාණය අපිට ලබා ගැනීම අවශ්‍ය බව‍. මීට අමතරව යුරෝපා සංවිධානයටත් දැනුම් දීලා තියෙනවා ඒ රටවලට ලැබෙන එන්නත්වලින් කොටසක් අපිට දෙන්න කියලා. කොවැක්ස් පහසුකම් යටතේ ලැබෙන ප්‍රමාණයත් එකතු කර ගත්තොත් අපිට දෙවැනි මාත්‍රාව දෙන්න පුළුවන්.

කොහොම නමුත් පළමු මාත්‍රාව කොවිෂීල්ඩ් එන්නතින් ලබාදී දෙවැනි මාත්‍රාව වෙනත් එන්නතකින් ලබාදීම සම්බන්ධයෙන් මේ වන විට ලෝකයේ විවිධ පර්‌යේෂණ පැවැත්වෙනවා. ඒ වාර්තාවන්ට අනුව අපිට එන්නත් ලබා දිය හැකිවෙයි.

මේ වන විට ස්පුට්නික් හා ෆයිසර් එන්නත ලබාගැනීමට කටයුතු කරමින් පවතින බව පැවැසෙනව….

ස්පුට්නික් එන්නතේ මාත්‍රා ලක්ෂ දෙකක ප්‍රමාණයක් අප්‍රේල් මාසේ ලැබීමට නියමිතයි. ලක්ෂ හතර, ලක්ෂ අට හා මිලියන 1.2 බැගින් දෙසැම්බර් මාසය දක්වා ලැබීමට නියමිතයි‍. ෆයිසර් ආයතන සමග පැවැත්වූ සාකච්ඡාවෙන් මැයි මාසේදී අග වන විට මාත්‍රා 35 000ත් අගෝස්තු වන විට මාත්‍රා ලක්ෂයකට වැඩි ප්‍රමාණයකුත් සැප්තැම්බර් වන විට මිලියන 4.8ත් දෙන්න පොරොන්දු වී තිබෙනවා. මේ වන විට එන්නත් වර්ග 5ක් සඳහා අපි ලියාපදිංචි ලබාගෙන තිබෙනවා.

අපේ ජනගහනයෙන් සියයට 40ක් වනවිට අගෝස්තු මාසය වන විට එන්නත් කර ගැනීමේ හැකියාව ලැබෙනවා.

මේ එන්නත් තොග ලැබුණු වහාම එය මුලින්ම ලබා දීමට බලාපොරොත්තු වන කණ්ඩායම් මේ වන විට හඳුනාගෙන තිබෙනවාද?

බස්නාහිර පළාත, වයඹ පළාත සහ මධ්‍යම පළාත ආදියේ කර්මන්තශාලා ඒකරාශී වෙලා තිබෙන ස්ථානයන් තෝරා‌ගෙන ස්පුට්නික් එන්නත අවුරුදු 60ට අඩු තරුණ කණ්ඩායම්වලට ලබා දීමට බලාපොරොත්තු වෙනවා.

 

  රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ    සභාපති, ස්නායු රෝග විශේෂඥ        වෛද්‍ය ප්‍රසන්න ගුණසේන

 

•සටහන – ශ්‍රියානි වි‌ජේසිංහ



Source link