June 13, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

තුන්වැනි රැල්ලටවත් එක ප්‍රකාශයෙක් දාන්න



පවතින තුන්වැනි කොරෝනා රැල්ලේ අවදානම ජනතාවට නිසි ලෙස සන්නිවේදනය කිරීමට එක් මාධ්‍ය ප්‍රකාශකවරයෙක් පත් කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණ රජයෙන් ඉල්ලා සිටියි.

 

ජවිපෙ පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා මේ පිළිබඳව කියා සිටියේය. 

 

“කොරෝනා තත්ත්වය සම්බන්ධව ප්‍රකාශකයා කවුද? කොරෝනාව පිළිබඳව අපිට පෙනී තිබෙනවා අඩුම ගානෙ හයදෙනෙක් ප්‍රකාශ නිකුත් කරනවා,” යැයි ඔහු පැවසීය.

හමුදාපතිවරයා, ජනාධිපති මාධ්‍ය අංශය, සෞඛ්‍ය ඇමතිවරිය, සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා, චන්න ජයසුමන අමාත්‍යවරයා හා කොවිඩ් පිළිබඳ ඇමතිනිය වන සුදර්ශිනි ප්‍රනාන්දුපුල්ලේ මෙලෙස ප්‍රකාශ නිකුත් කරන බවත් ඔහු මෙහිදී පැවසීය.

ආණ්ඩුවේ පිරිස් මේ අයුරින් වරින් වර කොරෝනා තත්වය සම්බන්ධයෙන් කරන පරස්පර ප්‍රකාශ හේතුවෙන් ගැටලුකාරී තත්වයක් නිර්මාණය වන බව ඔහු  කියා සිටියේය.

“ඇත්තටම කිව්වොත් මේක ජංජාලයක් වෙලා තියෙන්නෙ. අපි ආණ්ඩුවට යෝජනා කරනවා මේ තුන්වැනි රැල්ලටවත් එක ප්‍රකාශයෙක් දාන්න කියලා. අඩුගානේ ඒ වගේ සරල දෙයක්වත් කරන්න,” යැයි ඔහු මෙහිදී පැවසීය. 

කොරෝනා රෝගීන් හදුනාගන්නා ස්ථාන සම්බන්ධයෙන් කෙරෙන නාමකරණයද අවිධිමත් බව බිමල් රත්නායක මහතා වැඩිදුරටත් චෝදනා කර සිටියේය.





Source link