June 12, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

ක්‍රිකට් නිලවරණයෙන් මතී පිල ඉවත් වෙයි; ශම්මි පිලට නිතරඟ ජයක් 



කේ. මතිවානන් පාර්ශවය ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් කළ නාම යෝජනා ඉල්ලා අස් කරගෙන තිබේ.

2021 ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අනිද්දා (20) සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට නියමිතය.

ඊට නාම යෝජනා ඉදිරිපත් කළ, කේ. මතිවානන් පාර්ශවය නිලවරණ කමිටුවට අද ලිපියක් යොමු කරමින් පවසන්නේ, තමන් නිලවරණයෙන් ඉවත් වන බවයි.

සභාපති තනතුරට නාම යෝජනා ඉදිරිපත් කළ කේ. මතිවානන් මහතා සමග එම ලිපිය යොමු කර ඇත්තේ, ලේකම් තනතුරට නාම යෝජනා ඉදිරිපත් කළ නිශාන්ත රණතුංග සහ උප සභාපති තනතුරකට නාම යෝජනා ඉදිරිපත් කළ බන්දුල වර්ණපුර යන මහත්වරුන් ය.

1996 ලෝක කුසලානය දිනා, 2011 වසරේ ක්‍රිකට් ලෝක අනුශූරතාව ඇතුළු ජයග්‍රහණ රැසකට හිමිකම් කී ශ්‍රී ලංකාව මේ වනවිට ශ්‍රේණිගත කිරීම්හි පත්ව ඇති තත්ත්වයට වත්මන් පරිපාලනය වගකිව යුතු බව ද නිලවරණ කමිටුවට යොමුකළ ලිපියේ වැඩිදුරටත් දැක්වේ.

ශම්මිගේ භූමිකාව

මේ අනුව, හිටපු ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතාගේ පාර්ශවයට අනිද්දා නිතරඟ ජයක් හිමිවනු ඇතැයි වාර්තා වේ.

ක්‍රිකට් නිලවරණය සඳහා නාම යෝජනා බාරගැනීම පසුගිය පෙබරවාරි (24 වැනිදා) පස්වරු 3.30 ට අවසන් විය.

ඒ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තනතුරු අපේක්‍ෂාවෙන් පාර්ශ්ව හතරකින් නාම යෝජනා බාර දී තිබූ නමුත් ඉන් එකක් ‘ඡායා’ පාර්ශ්වයක් විය.

ශම්මි සිල්වා මහතා සභාපති තනතුරට නාමයෝජනා බාරදෙද්දී එම පාර්ශ්වයෙන්ම ලේකම් තනතුර අපේක්‍ෂා කළ මොහාන් ද සිල්වා මහතාත් උප සභාපති තනතුර ඉල්ලූ ජයන්ත ධර්මදාස මහතාත් ඡායා පාර්ශ්වයෙන් සභාපති තනතුරට නාමයෝජනා ඉදිරිපත් කළහ.

බත්තරමුල්ලේ සීලරතන හිමියෝද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපසභාපති තනතුරක් වෙනුවෙන් නාමයෝජනා ඉදිරිපත් කළහ.

උන්වහන්සේ නාමයෝජනා ඉදිරිපත් කර ඇත්තේ උතුරු පළාතේ, වන්නි දිස්ත්‍රික්කයේ ශාන්ත අන්තෝනි ක්‍රීඩා සමාජය නියෝජනය කරන බව පවසමිනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තනතුරක් වෙනුවෙන් බෞද්ධ භික්ෂූන්වහන්සේ නමක් ඉදිරිපත් වූ පළමු වැනි අවස්ථාව මෙයයි.

උන් වහන්සේ පසුගිය ජනාධිපතිවරණ තුනකදීම ජනාධිපති තනතුර අපේක්‍ෂා කරමින්ද තරග වැදුණහ.





Source link