June 14, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

ඉදිරිය තීරණාත්මකයි – උපදෙස් ඔලුවට ගන්න!


ඉදිරිය තීරණාත්මකයි - උපදෙස් ඔලුවට ගන්න!

ඉදිරි තෙසතියක කාලය මෙරටට තීරණාත්මක බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

විශේෂයෙන් පෞද්ගලික හා රාජ්‍ය ආයතනවල සේවකයන් කැඳවීමේදී අත්‍යවශ්‍ය ම සේවකයන් පමණක් කැඳවන ලෙසත් සේවකයන් කැඳවන්නේ නම් ලබාදී ඇති උපදෙස් හා චක්‍රලේඛවලට අනුව කැඳවීම් සිදුකරන ලෙසත් යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේය.

විවාහ මංගල උත්සව, වෙනත් සැමරුම් උත්සව මෙන් ම ප්‍රිය සම්භාෂණ ඇතුළු සියලු ජන ඒකරාශී වීම් තහනම් කොට ඇති පසුබිමක අසල්වැසි නිවෙස් හෝ මිතුරන්ගේ නිවෙස්වලට යමින් සාද දැමීම, එක් රැස්වීම්ද මෙම තෙසතියක කාල සීමාවේ සිදු නොකළ යුතු බව ද හෙතෙම කියා සිටියේය.

තමනුත් නිවෙසේ අනෙකුත් අයත් කොරෝනා ආසාදිතයකු නොවීමට සියලු දෙනා වගකීම හා ස්වයං විනයකින් කටයුතු කළ යුතු බව ද හෙතෙම අවධාරණය කළේය.

කොරෝනා ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ

මේ දක්වා මෙරටින් වාර්තා වූ වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (03) වාර්තා විය.

ඒ අනුව විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් අතරින් හඳුනා ගත් ආසාදිතයින් 48 දෙනා ද ඇතුළුව දෛනික සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වූයේ, 1891 ක් ලෙසය.දිවයිනේ දිස්ත්‍රික්ක 24කින් ම ඊයේ ආසාදිතයින් වාර්තා වී ඇති අතර හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 387 කි.

ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 330 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 297 දෙනෙකු වාර්තා වී තිබේ.නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 102 කි.අනෙක් ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත්තේ‍ දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලිනි.

ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 111,753 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව13,815කි.

සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 97,847  කි.පසුගිය පැය 24 තුළ කොවිඩ් -19 වෛරසය ආසාදනය වී සිටි පුද්ගලයින් 9 දෙනෙකු මිය යාමත් සමග කොරෝනා මරණ සංඛ්‍යාව ද 696 ක් දක්වා ඉහළ ගියේය.



Source link