June 23, 2021

Sinhala News Line

Access all Sinhala News From one site

ආන්තික ප්‍රජාවන් ඉලක්ක කරගනිමින් මානසික සෞඛ්‍යය පිළිබඳ සාවද්‍ය තොරතුරු පතුරුවන පුද්ගලයන්ට එරෙහි මහජන පෙත්සමක් සෞඛ්‍ය අමාත්‍යංශයට



මනෝඋපදේශිකාවක් යැයි හඳුන්වා ගත් තැනැත්තියක් විසින් සමරිසි ප්‍රජාව ඉල්ලක කර ගනිමින් ප්‍රකාශ කළ බරපතල අන්දමේ සාවද්‍ය තොරතුරු රැසක් අඩංගු යූටියුබ් වීඩියෝ පටයක් මේ දින වල සමාජ මාධ්‍ය ජාලා වල සැරිසරනු දක්නට හැකිය. (මෙම වීඩියෝව දැනටමත් අතිවිශාල වීව්ස් සංඛ්‍යාවක් ලබා සිටින බැවින් එහි ලින්කුව පළ කොට තවදුරටත් ප්‍රසිද්ධිය ලබා දීමට අපි කටයුතු නොකරමු.)

මෙම වීඩියෝව හරහා යෝජනා කර සිටින්නේ සමරිසිභාවය යනු පෞරෂත්ව ආබාධයක් බවත්, හිසට තදබල පහරක් වැදීමෙන් මෙවන් පෞරෂත්ව ආබාධයන් හට ගත හැකි බවත් ය. එමෙන්ම, සමලිංගිකත්වය ඇබ්බැහි වීමක් බවත්, මෙය මානසික රෝගී තත්ත්වයක් බවත් ඒත්තු ගැන්වීමට උත්සාහ කරන එම වීඩියෝව හරහා ලිංගික දිශානතිය පමණක් නොව පුද්ගලයින් අතර පවතින ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාවයන් පිළිබඳව පවා අවඥාසහගත අන්දමින් සාවද්‍ය තොරතුරු ප්‍රචාරණය කිරීමේ ප්‍රයන්තයක් දක්නට ලැබේ.

අප වෙත ලැබුණු තොරතුරු අනුව මෙම මනෝඋපදේශිකාව යැයි හඳුන්වාගත් තැනැත්තිය බලපත්‍රලාභී මනෝඋපදේශකවරියක් නොවන අතර, සෝෂල් ඉන්ෆ්ලුවන්සර්, නැතහොත් මතවාද ගොඩනඟන සමාජ ක්‍රියාකාරිනියක්, හා මෝටිවේෂනල් ස්පීකර්, නැතහොත් අභිප්‍රේරණ කථිකයකු මෙන් විවිධ වැඩසටහන් පවත්වනු ලබයි. බොහෝ දෙනෙකු ඈ හඳුන්වනු ලබන්නේ අමා මැඩම් යනුවෙනි.


Self-crowned psychologist Ama Dissanayake

ඈගේ යූටියුබ් චැනලය පිරික්සූ විට පවතින බොහෝ වීඩියෝපට වල දැක්වෙන්නේ ඉතාම පුරුෂමූලික සහ කාන්තාව පහත්කොට සලකනු ලබන හණමිටිවාදී අදහස් ගම්‍ය වන වැඩසටහන් ය. එම චැනලය හරහා ශ්‍රාවක පිරිසක් ගොඩනඟා ගෙන සිටින මෙම තැනැත්තිය කාන්තාව අඟපසඟ පෙනෙන ලෙස ඇඳුම් පැළඳුම් අදිනු ලබන්නේ පිරිමියා සතුටු කිරීමට වැනි නූතන ප්‍රගතිශීලී සමාජයන් විසින් බැහැර කරනු ලබන අවිද්‍යාත්මක මතවාදයන් සමාජගත කිරීමේ උත්සාහයක නිරත වෙයි.

අප වෙත ලැබුණු තොරතුරු අනුව, ඈ බලපත්‍රලාභී මනෝඋපදේශිකාවක නොවන බැවින් ඈට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් විනය පරීක්ෂණ ක්‍රියාවලියක් ආරම්භ කිරීමට හෝ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ අපහසුතාවයක් පවතී. කෙසේවෙතත්, ඈ විසින් ගොඩනඟා ගෙන තිබෙන මෙම ප්‍රතිරූපය සහ ශ්‍රාවක පිරිස් නොමඟ හැරීමට මනෝවිද්‍යාවේ මූලික සෛද්ධාන්තයන් සහ ආචාරධර්මයන් අමුඅමුවේ උල්ලංඝනය කරමින් දක්වන මෙම හැසිරීමට එරෙහිව සමාජ මතය ගොඩනැඟීමට සමාජ ක්‍රියාකාරීන් මේ වන විට පෙළගැසී සිටී.

ඒ තුළින් මෙම තැනැත්තිය ඇතුළු මනෝවිද්‍යාව අයුතු ලෙස පරිහරණය කරන සහ ජනතාව නොමඟ යවන මතවාද ප්‍රචාරණය කරන, ශ්‍රී ලංකාව පුරා සිටින විවිධ බලපත්‍ර නොලත් පුද්ගලයන් විසින් මෙහෙයවනු ලබන වැඩසටහන් වර්ජනය කිරීමට, සහ ඔවුනට එරෙහි හැකි නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට බලධාරීන් උනන්දු කරවීම මෙම පෙත්සම් ව්‍යාපාරයේ අරමුණ වී තිබේ.

යහපත් මානසික සෞඛ්‍යය පොදුවේ මානව වර්ගයාගේ යහපැවැත්මට බෙහෙවින් වැදගත් වන කරුණක් වන අතර, මානසික ව්‍යාකූලතා, රෝගී තත්ත්වයන් ඇතුළු පොදුජනතාවට බලපාන මනෝවිද්‍යාත්මක ගැටළු නිසිපරිදි ආමන්ත්‍රණය කොට විසඳුම් ලබා දීම වෙනුවට, ඔවුන් තවදුරටත් ව්‍යාකූලභාවයට පත්කිරීමට සහ සංකූලතා වෙත ඇද දැමීමට කටයුතු කිරීමට මනෝවිද්‍යාව අපහරණය කරන කූට වෙළඳුන්ට එරෙහිව පක්ෂ, පාට නොතකා අප කටයුතු කළ යුතුය.

විශේෂයෙන්ම මතුව ඇති වත්මන් කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පුද්ගලයන් නිවෙස් වලට සීමා වී සිටින සහ සමාජ ආශ්‍රයෙන් බැහැර වී සිටින මෙවන් මොහොතක, ඔවුන්ගේ මානසික සෞඛ්‍යය පිරිහීමට විවිධ හේතූන් බලපෑමට ඉඩ තිබේ. රැකියා අහිමිවීම, ආර්ථික අර්බුදය, අධ්‍යාපන කටයුතු අඩාල වීම, ආදායම් අහිමිවීම, විවිධ රෝගී තත්ත්වයන් ට ගොදුරු වීම, අවශ්‍ය ඖෂධ හිඟවීම, සමාජ ඇසුර ගිලිහීම… යනාදී ප්‍රකාශිත අප්‍රකාශිත සාධක රැසක් මධ්‍යයේ පුද්ගලයකු ගේ මානසික සෞඛ්‍යය පිරිහීමේ වැඩි සම්භාවිතාවක් මෙම කාලය තුළ පවතින්නේ යැයි කිවහොත් වැරදි නැත.
 
ඒ අනුව, ජාතික මානසික සෞඛ්‍යය විද්‍යාතනය, ජාතික වෛද්‍ය සභාව සහ සෞඛ්‍ය අමාත්‍යංශය ආමන්ත්‍රණය කරමින් මහජන පෙත්සම් ව්‍යාපාරයක් මේ වන විට ආරම්භ කර තිබේ. මේ සඳහා ස්ත්‍රී-පුරුෂ සමාජභාවී සමානාත්මතාවය සඳහා කටයුතු කරන ක්‍රියාකාරීන්, ස්ත්‍රීවාදී ව්‍යාපාර සහ සුළුතර ලිංගික අයිතිවාසිකම් පිළිබඳ සමාජ ක්‍රියාකාරීන් රැසක් පෙළ ගැසී සිටින අතර, අදාළ පෙත්සම සම්පාදනය කර තිබෙන්නේ මානව හිමිකම් ක්‍රියාකාරී සහ මාධ්‍යවේදී කෞෂාල් රණසිංහ විසිනි.

අදාළ ලිපිය පහත දැක්වේ:

පෙත්සම අත්සන් කිරීමට මෙම ලින්කුව වෙත පිවිසෙන්න: නිසි මානසික සෞඛ්‍ය ප්‍රවේශයක් ලබා ගැනීමට ඇති මහජන අයිතිය සුරකිනු – මහජන පෙත්සම




Source link